නිර්මාතෘවරයා

ලංකාවේ ප්‍රමුඛ පෙලේ කර්මාන්තායතනයක් ලෙස DSI ආයතනය එක් දිනක් තුල ගොඩ නැගුනක් නොවේ. නමුත් එය එක් මිනිසකුගේ දැක්ම සහ දර්ශණය මත බිහි වූවකි.

dsi-founder
ඔබ මෙතැන: මුල් පිටුව » අප ගැන » නිර්මාතෘවරයා

founder DSI වෙළඳ නාමයේ ආරම්භකයා වන ඩී. එස් රාජපක්ෂ මහතා ලාබාල අවදියේම සිය පවුලේ බර කරට ගැනීමට සිදු වූ අයෙකි. ඉතාමත් අඩු වයසකදී දෙමාපියන් අහිමි වන රාජපක්ෂ මහතා පෝෂණය කර ඇත්තේ එතුමන්ගේ මිත්තණිය විසිනි.

දිවි ගමනේදී එතුමන්ට හමු වූ අනේක විද දුක් කම් කටොළු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පාවහන් වෙළෙඳ නාමයක් බිහි කරලීමට අවශ්‍ය මාර්ගය සකස් කර ඇත. වයස අවුරුදු 14 ක් වන විටත් කුඩා රාජපක්ෂයන් කොළඹ සහ ගාල්ල අතර වූ විවිධ ස්ථාන රාශියක රැකියා සිදු කර තිබුණු අතර සිය ප්‍රථම ව්‍යාපාරය ලෙස කොළඹ කොටුවේ සුදු රෙදි කඩයක් අරඹනුයේ ව්‍යාපාරිකයකු වීමේ පලමු පියවර තබමිනි. දෙවන ලෝක යුද්ධය නිසාවෙන් සිය ව්‍යාපාරය අතහැර නැවතත් සිය උපන් ගම වූ ගාල්ලට යාමට රාජපක්ෂයන්ට සිදු වුවද යුද්ධයේ ගිනි දැල් නිවී යනවාත් සමග කොටුවේ නැවතත් සිය ව්‍යාපාරයන් අරඹනුයේ ඔහු සතු නොපසුබස්නා උත්සාහය මොනවට ප්‍රදර්ශණය කරමිනි.

DSI නම් පාවහන් ආයතනයේ මූලික අඩිතාලම වැටෙනුයේද කොලඹ කොටුවේ සිදු වූ මෙම ව්‍යාපාරයන් තරමක් පුළුල් කරමින් රාජපක්ෂ මහතා පාවහන් අලෙවිය සහ විදේශීය පාවහන් මාදිලි ආනයනය ඇරඹීමත් සමගය. මේ සමගම ‘Ballerina’ වැනි පාවහන් මාදිලි සඳහා තිබෙන්නා වූ ඉල්ලුම මනා ව්‍යාපාරික ඥානයක් සහිත වූ රාජපක්ෂ මහතා නිරීක්ෂණය කලේය.

මෙම නිරීක්ෂණයත් සමගම පලමු DSI කර්මාන්තායතනය ගාල්ලේ ඇරඹෙනුයේ ප්‍රසිද්ධ ජනප්‍රිය නාමයක උපතත් සමගිනි. 1964 දී පැවති කර්මාන්ත ප්‍රදර්ශණයකදී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය DSI ආයතනයේ භාණ්ඩ වල ගුණාත්මක භාවය සහ සුව පහසුව පිලිබඳවත් සේවකයන්ට ඉතාමත් ලෙන්ගතු ආයතනයක් ලෙසත් පැසසීම ආරම්භයෙන් කෙටි කාලයක් තුල ආයතනය ලැබූ ජයග්‍රහණයක් විය.

පාවහන් වලින් ඇරඹී නිමි ඇඳුම් කර්මාන්තය දක්වා DSI ආයතනයේ මුල් විහිදුනද ඩී. ඇස්. රාජපක්ෂ මහතා පැරණි නිහතමානී පුද්ගලයාම විය. සිය උපන් නගරය තුල දහස් ගනනින් රැකියා අවස්ථා නිර්මාණය කරමින් ශ්‍රී ලංකා සිතියම තුල ගාල්ලට තවත් සුවිශේෂීතාවයක් එක් කිරීමට එතුමන් සමත් විය. වෙලඳ නාමයක ජනප්‍රියතාව සහ පාරිභෝගිකයා අතර පවතින්නා වූ සම්බන්ධතාව ඔහු මනාව වටහා ගත් අයෙක් විය. නිෂ්පාදනයන් සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවන් ප්‍රමුඛතාවයෙහි ලා ගොඩ නැගුණු ඒවා වූ අතර වෙළෙඳ ප්‍රචාරණය පාරිභෝගික හදවත් ඉලක්ක කර සිදු වූවක් විය.

කාලය ගෙවී යත්ම එතුමන්ගේ දරුවන්ද 1970 වර්ශයෙන් පසු ව්‍යාපාරයට සම්බන්ද වූ අතර ඔවුන්ද සිය පියාගේ මග පෙන්වීම ඔස්සේම සිය ව්‍යාපාරික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් අද දක්වා ව්‍යාපාර ඉදිරියට ගෙනවිත් ඇත.

ඉමහත් බාධක මැද්දේ වූවද රාජපක්ෂ මහතා සිය ඉලක්කයන් කරා ගමන් කලා මෙන්ම කිසි විටක තමන් නිවරදි යයි විශ්වාස කල සමාජ සාරධර්ම අභිබවා ගියේද නැත. සිය සේවකයන්ට ඔහු සැලකුවේ තමන්ගේම දරුවන්ට ලෙසය, විවිද වූ සමාජ ආගමික සත්කාර්යන්ට එදා සිට අද දක්වා DSI සමාගම මූලිකත්වය ගනුයේ එතුමන්ගේ චින්තනය අනුව යමිනි. SLIM Brand Excellence Award, NCE Export Awards, CNCI Achiever of Industrial Excellence වැනි සම්මානයන්ට ආයතනය පාත්‍ර වනුයේ ඩී ඇස් රාජපක්ෂ මහතා විසින් ආයතනයට හඳුනා දුන් මෙම ක්‍රමවේදයන් නිසාවෙනි.

දෙමාපියන් අහිමි දරුවෙක් සිය මිත්තණියගේ ආශිර්වාදය සමගින් ඇරඹි අධිෂ්ඨානයේ කථාව ඕනෑම අයෙකුට ආදර්ශයක් වනු ඇති අතර එය ආයතනය සමගින් සම්බන්ධ පුද්ගලයන්ගේ ජීවිත වලට පහන් ටැඹක් මෙන් නිබඳ ආලෝකයක් එක් කිරීමට සමත් වනු ඇත.

සංස්ථානික කාර්ය්‍යාලය

DSI සැම්සන් සමූහය
අංක 110
කුමරන් රත්නම් මාවත
කොලඹ 02
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 (0)11 21 31 800
ෆැක්ස්  : +94 (0)11 21 31 777
ඊමේල්  : info@dsi.lk (ප්‍රධාන)