පුවත්

ඔබ මෙතැන: මුල් පිටුව » පුවත් » DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ නව සභාපතිවරයා ලෙස උදිත එගලහේවා මහතා පත් කෙරෙයි.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ නව සභාපතිවරයා ලෙස උදිත එගලහේවා මහතා පත් කෙරෙයි.

ප්‍රකාශිත දිනය 24 April, 2023

ශ්‍රී ලංකාවේ පාවහන් සහ බයිසිකල් ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන DSI සැම්සන් සමූහය, 2023 මාර්තු 7 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය සමාගමේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ උදිත එගලහේවා මහතා පත් කළ බව නිවේදනය කරයි.

නීතිඥයෙකු වශයෙන් රාජ්‍ය නීතිය සහ වාණිජ නීතිය පිළිබඳ වසර 32කට අධික පළපුරුද්දක් සහිත, ප්‍රමුඛ පෙළේ වෘත්තිකයෙකු වන එගලහේවා මහතා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතීඥවරයෙකු ලෙසත්, මූලික සහ අභියාචනාධිකරණවල විවිධ නීති ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කටයුතු කරන අධිනීතිඥවරයෙකු ලෙසත් සේවය කර ඇති අතර, ශාස්ත්‍රීය හා වෘත්තීය සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි. එගලහේවා මහතා විසින් ශාස්ත්‍රීය ප්‍රකාශන 40 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නීතිය හා සම්බන්ධ මාතෘකා පිළිබඳව මහජන ඉදිරිපත් කිරීම් 30 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත. සිය නීති පරිචයට අමතරව දැනට ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොකළ සමාගම් කිහිපයක ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (පොදු නීතිය) (LLM), මෝල්ටාවේ ජාත්‍යන්තර සාමුද්‍රීය නීති ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියක් (සාගරික සහ නාවික නීතිය) (LLM) සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් රක්ෂණ නීතිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමි කර ගෙන ඇත. එමෙන් ම ජාත්‍යන්තර සාමුද්‍රීය නීති ආයතනය විසින් ඔහුගේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් 'මහාචාර්ය වෝල්ටර් මුලර් ත්‍යාගය' පිරිනමන ලදී.

DSI සැම්සන් සමූහයේ දියමන්ති ජුබිලිය සමරන මේ වසරේ දී නව සභාපතිවරයා ලෙස සිය අද්විතීය පළපුරුද්ද සහ ප්‍රවීණත්වය තුළින් එම සමාගම් සමූහය මෙහෙයවීමේ භාරදූර වගකීම පැවරෙන්නේ එගලහේවා මහතාටයි. පාවහන් ව්‍යාපාරයෙන් ඔබ්බට යමින් සමූහය විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසක් වෙත ව්‍යාප්ත කිරීම සිදු කෙරුණේ 3 වැනි පරම්පරාවේ ආරම්භක සභාපති දිවංගත ඩී.සැම්සන් රාජපක්ෂ මහතා විසින් වන අතර, එගලහේවා මහතාගේ පදවි ප්‍රාප්තියත් සමඟින් සමූහයේ ආයතනික පාලන සහ උපාය මාර්ගික තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්, ඒ හරහා ඉදිරි වසරවල සමූහයේ වර්ධනය සහ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමටත් අපේක්ෂිතය.

සිය අනුප්‍රාප්තිකයාගේ ආගමනය පිළිබඳව අදහස් දක්වමින් D. Samson & Sons (Pvt.) Ltd සමාගමේ හිටපු සභාපතිවරයා, සමාගමේ මූල්‍ය වර්ධනය පිළිබඳව සිය තෘප්තිය පළ කළ අතර, වර්තමානය වන විට DSI සමාගම මූල්‍ය වශයෙන් ඉතා ශක්තිමත් තත්ත්වයක පසු වන බව ප්‍රකාශ කළේය. මේ වෙනුවෙන් කැප වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, කළමනාකාරිත්වය, සමස්ත කාර්ය මණ්ඩලය සහ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ සියලු ම පාර්ශවකරුවන් සිහිපත් කළ හිටපු සභාපතිවරයා, මෙම ජයග්‍රහණය එම සියලු ම දෙනාගේ සාමූහික කැපවීමේ ප්‍රතිඵලයක් බව ද ප්‍රකාශ කළේය.

සමාගමේ දියුණුව සාක්ෂාත් කර ගත හැකි සංවර්ධන සැලසුම් ඉදිරියට ගෙන යාමට සහ අඛණ්ඩ සාර්ථකත්වය කරා සමූහය මෙහෙයවීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය සහ සියලු ම පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කරන බව පැවසූ අභිනව සභාපතිවරයා මෙවැනි සාර්ථක මෙන් ම විවිධත්වයෙන් යුත් සමූහ ව්‍යාපාරයකට නායකත්වය දීමට අවස්ථාව ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. “DSI සමූහයේ නව සභාපතිවරයා ලෙස, මෙතරම් ශක්තිමත්, සාර්ථක සහ කීර්තිමත් ඉතිහාසයක් සහිත සමාගම් සමූහයකට නායකත්වය ලබා දීමට අවස්ථාව ලැබීම මට මහත් ගෞරවයක්. සාර්ථකත්වය සඳහා සහයෝගීතාව අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරනවා. නවෝත්පාදන බිහි කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හරහා අපගේ තරඟකාරිත්වය වැඩිදියුණු කර ගැනීමට DSI සැම්සන් සමූහයේ දක්ෂ හා පළපුරුදු කණ්ඩායම මට උපරිම සහයෝගය ලබා දෙනු ඇතැ'යි මම විශ්වාස කරනවා. අපි එක් ව අපගේ සමාගම තවදුරටත් වර්ධනය කරා ගෙන යාමට උපරිමයෙන් කැප වෙමු.” යනුවෙන් එගලහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරය වසර 52කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික සමාගම් සමූහයකි. උසස් තත්ත්වයේ පාවහන් සහ බයිසිකල් ටයර් නිෂ්පාදනය සඳහා කීර්තියක් දිනා ගනිමින්, වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 160 ඉක්මවීමට සමත් වී ඇති DSI සැම්සන් සමූහ ව්‍යාපාරය රටවල් 40කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරමින් අතිසාර්ථක ගෝලීය ප්‍රවේශයක් ලබා ඇත. ශ්‍රී ලංකාව තුළ Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas, Arrow, W, Modare, Inc.5, Aurelia, Asics, සහ Von Wellx වැනි ජාත්‍යන්තර සන්නාම ගෙන්වා බෙදා හරින එක ම නියෝජිතයා වන DSI සැම්සන් සමූහ ව්‍යාපාරය දිවයින පුරා ප්‍රදර්ශනාගාර 200කට අධික සංඛ්‍යාවක් සහ අලෙවි නියෝජිතයින් 5,000කට අධික සංඛ්‍යාවකින් මෙන් ම දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට සේවා සපයන අනුබද්ධිත ආයතන 23කින් සමන්විත ශක්තිමත් සමූහයකි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විශාලතම දේශීය සමාගම් සමූහය වන DSI සැම්සන් සමූහ ව්‍යාපාරය වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස ප්‍රාදේශීය වශයෙන් ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සමාජ සත්කාරක ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට සමත් වීම පිළිබඳව සිහිපත් කරන්නේ මහත් අභිමානයෙනි. අතිදක්ෂ ශ්‍රම බලකායකින්, ව්‍යාපාරික ආචාර ධර්ම පද්ධතියකින් සහ පාරිභෝගික කේන්ද්‍රීය ගුණාත්මක සේවාවක් සමඟින් DSI සැම්සන් සමූහය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් ලෙස ස්ථානගත වී ඇත.

ප්‍රකාශනය සංස්ථානික පුවත්